නවීන ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු කාලය එළඹ තිබෙනවා

නවීන ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු කාලය එළඹ තිබෙනවා .
– මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ

නවීන ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු කාලය එළඹ ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ  මහතා ප්‍රකාශ කර සිටී. මේ බව ඒ මහතා සදහන් කර සිටියේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර අධ්‍යාපන කලාපයේ 2022 වර්ෂය තුල ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන පර්යේෂණ අනාවරණ එළිදැක්වීමේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වු අවස්ථාවේදී අදහස් දක්වමිනි.

මහනුවර ගුරුදෙණිය ගුරු පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයේදී (10) පැවැති පැවැති මෙම සම්මන්ත්‍රණයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීම සදහා අවස්ථාව සළසා දෙමින් දරුවන් දක්ෂතාවයන් දක්වන ක්ෂේත්‍රයන් හදුනාගනිමින් එම ක්ෂේත්‍රයන් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් අනාගත ලෝකය සදහා සූදානම් කරවීම සිදුකළ යුතු බවත්,  එළි දක්වන ලද පරීක්ෂණ ඉතා වැදගත් බවත් එම පරීක්ෂණ තව තවත් වැඩි දියුණු කරගනිමින් විද්‍යාඥයින් ලෙස අනාගතය ජයගැනීමට හැකියාව ලැබේවායැයි තමා ප්‍රාර්ථනා කර සිටින බවත් ය.

මෙම වැඩසටහන‍ට සමගාමීව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මහනුවර ගුරුදෙණිය ගුරු පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ සාමාන්‍ය පෙළ නේවාසික වැඩසටහන ද නිරීක්ෂණය කරමින් එම දරුවන්ගේ අදහස් විමසිම සිදුවිය. සාමාන්‍ය පෙල විභාගය සදහා පෙනී සිටීමට නියමිත ප්‍රධාන විෂයන් සදහා අඩු දක්ෂතාවයක් පෙන්නුම්කරනු ලබන දුෂ්කර කලාපයන්හී දරු දැරියන්ට එම විෂය කරුණු සම්බන්ධයෙන් දැනුම ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන එම වැඩසටහන  පවතින ගුරු හිඟය සහ වෙනත් ගැටලු හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සදහා කාලීනව ඉතා වැදගත් බවත් එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.අයි අන්දරගේ,  ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ  ප්‍රධාන විධායක නිළධාරී උපාලි එම්. සේදර, මහාචාර්ය ශාමින්ද වනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම වැඩසටහන සදහා එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *