හරිත හා සුහුරු පාසල් සංකල්පයන්

මධ්‍යම පළාතේ පිහිටි මහනුවර දිස්ත්‍රික්කයට සියලු පහසුකම්වලින් සමන්විත , හරිත හා සුහුරු පාසල් සංකල්පයන් (Green  & Smart School ) මුලික කර ගනිමින් නව තාක්ෂණික  අධ්‍යාපන ක්‍රමවේද වලින් සමන්විත වූ නව කාන්තා පාසලක් දිගන – රජවැල්ල ප්‍රදේශයේදී ආරම්භ කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කොට ඇත .

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ සංකල්පයක් මත මෙම නව කාන්තා පාසල ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර .

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ සහ  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ , මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නව බාලිකා පාසල සදහා මුල්ගල් තැබීමට අද (27) දින පෙරවරුවේ සිදුකෙරිණ

මහනුවර නගරයේ ප්‍රධාන පාසල් සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේදී පවතින අධික තරගකාරිත්වය ,නගරයේ පවතින අධික පාරිසරික ගැටළු වලින් පිඩා විදින සිසුන් හට නිදහස් වාතාවරණයක් සහිතව අධ්‍යාපනය ලැබීමට අවකාශය සැලසීම යන  අරමුණුද පෙරදැරිව මෙම නව පාසල ස්ථාපිත කෙරේ .

නව කාන්තා පාසල ත්‍රෛභාෂා පාසලක් ලෙසත් , සියලු විෂයන් සහිතව නේවාසික පහසුකම් හා  අංගසම්පුර්ණ ක්‍රීඩාංගනයක්  ,ශ්‍රවනාගාරයක්  ,පිහිනුම් තටාකයක්  , පුස්තකාල හා  විද්‍යාගාර පහසුකම් , ඇතුළු නවීන අංග වලින් සමන්විත වේ.

පළමු අදීයරේදී මෙම පාසල  පළමුව 6-11 ශ්‍රේණි සදහා විවෘත කිරීමට නියමිත අතර දෙවන අදීයරේදී උසස් පෙළ දක්වා පන්ති ආරම්භ කිරීමට අපේක්ෂිතය . ශිෂ්‍යත්ව  විභාගය සමත්වන දරුවන් සදහා වෙනම දක්ෂතා ඇගයීමේ විභාගයක් පවත්වා , විවෘත තරග විභාග ක්‍රමයකින් සිසුන් තෝරා  ගැනීමට නියමිතය .පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 15 ක  දරුවන් සදහා මෙම පාසල විවෘතවේ.

විධිමත් අධ්‍යාපන පරිසරයක් තුළ තරගකාරී පරිසරයට ගැලපෙන ලෙස නව දැක්මක් සහිතව ආදර්ශ පාසල් ආකෘතියට අනුව මෙය පවත්වාගෙන යාමට අපේක්ෂිතය . පිරිමි දරුවන් සදහා වෙනුවෙන් මෙලෙස ආරම්භ කරන ලද මහනුවර , ගන්නොරුව රණබිම රාජකීය විදුහල් ආකෘතියට අනුව මෙම  පාසලද පවත්වා ගෙනයාමට සැලසුම් කොට ඇත .

තෙල්දෙණිය පොලිස් කොට්ඨශයේ , කුණ්ඩසාලේ මැතිවරණ බල ප්‍රදේශයේ , වත්තේගම අධ්‍යාපන කලාපයට අයත්  දිගන රජවැල්ල ග්‍රාමයේ මෙම නව කාන්තා පාසල ස්ථාපිත කරන අතර , 2022 වර්ෂයේදී මෙම පාසල සදහා ළමුන් ඇතුලත් කර ගැනීමටද සැලසුම් කෙරේ .

මැදරට අභිමානය ඉහලට ඔසවා තබමින්  , අධ්‍යාපනය නව දිශානතියක් වෙත යොමුකරවීමේ  එක් පියවරක් ලෙස මෙම නව පාසල් සංකල්පය ඉදිරියේදී මධ්‍යම පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක දෙක තුළත්  ක්‍රියාත්මක කිරීමට ද  ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *