වික්ටෝරියා වේල්ල 100% ආරක්ෂිත තත්වයේ පවතිනවා . වසර 100 කට වඩා භාවිතයට ගන්නත් පුළුවන්

මධ්‍යම ආණ්ඩුකාරවරයා කැඳවු විශේෂ සාකච්ඡාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එළඹෙන 22 වැනිදා ආණ්ඩුකාරවරයා වික්ටෝරියා වේල්ලෙහි පරීක්ෂණ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වීමට තීරණය කළ අතර, ඒ සදහා භූ විද්‍යා, නාගරික සංවර්ධන, ආරක්ෂක, මහවැලි සංවර්ධන ඇතුළු සියලු අංශ වල සහභාගීත්වය ද තමන් අපේක්ෂා කරන බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය.

මහනුවර නගරය තුල මෑත කාලීනව ඇති වු භූ චලන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විශේෂ සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (10) පැවැත්වීමට කටයුතු කර තිබුණි.

එහිදී ඇති වු භූ චලන හේතුවෙන් ඉදිරියේදී යම් අවධානම් පවතී ද යන්න මූලික කරගනිමෙන් සාකච්ඡාව පැවැත්වීම සිදු වු අතර, සුනාමි වැනි ස්භාවික විපත් ඇතිවීමට ප්‍රථම කඩිනම් පියවර ගැනීමේ හැකියාවක් පැවතියේනම් සිදු වු හානි අවම කරගැනීමේ හැකියාවක් පැවති බවත්, සුළු භූ චලන මගින් ලබාදුන් අනතුරු ඇගවීම සැළකිල්ලට ගෙන ඉදිරියේදී මහා විපතක් ඇතිවීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ බවත් මෙහිදී ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේය.

සාකච්ඡාව අතරතුර‍දී , සමජය තුල පැතරයන වික්ටෝරියා වේල්ලේ පවතින අවධානම් තත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වු අතර, එහිදී ප්‍රධාන වේලී හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ආර්.කේ අරුප්පොල මහතා ප්‍රකාශ කර සිටියේය මේ වන විට පවසන ආකාරයක කිසිදු අවධානම් තත්වයක් වික්ටෝරිය වේල්ල ආශ්‍රිතව නොපවතින බවත්, එය 100 %ක ආරක්ෂිත මට්ටමේ පවතින බවත්ය. එමෙන්ම එම ‍වේල්ල තව වසර 100 කට අධික කාලයක් භාවිතයට ගැනීමේ හැකියාව පවතින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වික්ටෝරිය වේල්ල ඉදිකර ඇති බව හා සෑම මොහොතකදීම වේල්ල පරීක්ෂාව සදහා කටයුතු සිදුකරමින් පවතින බවත් එම මහතා සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම ඉදිරියේදී වික්ටෝරිය වේල්ල සදහා නැවත ප්‍රමිති පරික්ෂාවක් සිදුකිරීමට නියමිත බවත්, යම් ආකාරයකින් වේල්ලේ අනාරක්ෂිත තත්වයක් මතු වුවහොත් ඒ සදහා පෙර සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.මෙම සාකච්ඡාව සදහා එක් වෙමින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සර්ජනන ද සිල්වා මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකාව තුල භූ කම්පන මාන 04ක් මේ වන විට ස්ථාපිත කර ඇති බවත් ඒ මගින් වඩාත් නිවැරදි ආකාරයේ තොරතුරු ලබාගනිමන් යම් ආපදා තත්වයක් සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාවක් පවතින බවත්ය.

සියලු අංශ වල ‍කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ අවධානමට පෙර සූදානම් වීම සදහා සියලු අංශ වල සහයෝගීතාවයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වන බවත්, ඒ මගින් වඩාත් නිවැරදි මෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ඔස්සේ ජනතාව ආරක්ෂා කිරීමට හැකියාවක් සැලසෙන බවත්ය මෙම සාකච්ඡාව සදහා ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් වී.වී.අමරසේන යන මහත්වරුන් ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *