මහනුවර නගරයේ පාසල් සෞඛය උපදෙස් අනුව ක්‍රියාත්මක ද යන්න මධ්‍යම ආණ්ඩුකාරවරයා පරීක්ෂා කරයි.

එල්.බී සේනාරත්න
මහනුවර නගරය තුල ඇති පාසල් වල සෞඛ්‍ය අංශ වලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු සිදුවෙමින් පවතින්නේද යන්න පරීක්ෂා කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (15) කටයුතු කළේය. ඒ අනුව මහනුවර නගරයේ ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය, සරසවි උයන මහ විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය,පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ පැමිණීම සහ පාසල් පද්ධතිය තුලදී දරුවන් සදහා කොවිඩ් වසංගත තත්වය ව්‍යාප්තියට වැට බැදීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කර ඇත් ද යන්න විමසීම මෙහිදී සිදුවිය.
 
නිවසේ සිට පාසල දක්වා පැමිණීමේදී පොදු ප්‍රවාහන සේවා හරියාකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න සහ දරුවන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් විමසීම සදහා ආන්ඩුකාරවරයා මෙම නිරීක්ෂණ චාරිකාවේදී කටයුතු කළ අතර, පාසල් වේලාවන්හී දරුවන් සදහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස බස්රථ සදහා රජය උපදෙස් ලබා දී ඇති බවත්, පාසල් වේලාවන්හීදී එකම වේලාවට බස් රථ දෙක බැගින් යෙදවීම මගින් බස්රථ වල තදබදයක් ඇති වීම වැලැක්වීම සදහාත් මේවන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේය. මෙම නිරීක්ෂණ චාරිකාව සදහා ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහීශ්වර කිරිඳගොඩ යන මහත්වරුන් ද එක් ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *