මධ්‍යම පළාත සදහා නව විදුහල්පතිවරුන් 835ක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii වන ශ්‍රේණියට බඳවා ගත් මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන් 835 දෙනකුන් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාව 6 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ධර්මරාජ විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විෂය නිර්දේශ පමණක් ආවරණය කරමින් රොබෝ වරුන් වැනි දූ දැරුවන් පිරිසක් නිර්මාණය කිරීම මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ අපේක්ෂාව නොවන බවත්, දැනුම, කුසලතා , ආකල්ප හා සාරධර්ම වලින් පොහොසත් රටට දැයට හිතැති මතු පරපුරක අවශ්‍යතාවය පවතින බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටී.

මහනුවර, නුවරඑළීය සහ මාතලේ දිස්ත්‍රික්කවල පාසල් 1430ක් සඳහා පුරප්පාඩු පිරවීම සැලසුම් කර ඇති අතර සීමිත පදනම යටතේ විදුහල්පති පත්වීම් ලබාදීම එහි පළමු අදියර යටතේ මෙදින සිදු වු අතර, එම වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේ, 2014 වන විට මධ්‍යම පළාතේ ලබාදී තිබුණු ගුරු සහායක පත්වීම් 1900ක ප්‍රමාණය ස්ථිර ගුරු පත්වීම් බවට පත් කිරීමට කටයුතු කළ බවත් තවත් ගුරු පත්වීම් 950ක් ලබාදීමට හැකිවූ බවත්ය. තවත් ස්ථිර ගුරු පත්වීම් 146ක් ඉදිරියේදි ලබා දෙන බවත්, තමා පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පළාත තුල වසර ගණනාවක් පැවති ගැටලු විසදීමට හැකිවීම සම්බන්ධයෙන් නිහතමානී සතුටක් පවතින බවත්, නගරයෙන් ගමට ගියවිට අත්‍යවශ්‍ය විෂයන් සදහා පවතින ගුරු පුරප්පාඩු සදහා වැඩි අවධානයක් යොමුකරගනිමින් විෂය පදනම් කරගනිමින් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා වැඩි අවධානයක් යොමු කරනු ලබන බවත් ය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් සදහන් කර සිටියේ ගුරු විදුහල්පති හිඟය නිසාවෙන් මධ්‍යම පළාත පීඩා විඳිමින් ඇති අවස්ථාවක මෙම තීරණය ඉතාම වැදගත් වන බවත් මෙම පත්කිරීම් තවත් කල් යවා වාසි ලබා ගැනීමට කළ උත්සාහය පරාජය කරමින් කඩිනමින් පත්කිරීම් ලබාදීමේ ක්‍රියාවලිය පැසසුම් ලැබීය යුතු බවයි.

මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *